• Breaking News

    ලොවටම අභිරහසක් වූ ගීසා පිරමීඩයක් ඇතුළේ අබ්රහස් හිඩැසක්

    අදටත් නොනැසී පවතින මිනිස් නිර්මාණයක්  ලෙස සැලකෙන්නේ ඊජිප්තුවේ කයිරෝ අගනුවරට කිලෝ මීටර් 18 ක් දුරින් ගීසා නිම්නයෙහි පිහිටා ඇති පිරමීඩ තුනකි. ලෝකයේ ඉපැරැණි පුදුම හතට අයත්, තවමත් නොනැසී පවතින මිනිස් නිර්මාණය වන්නේ ද මෙම පිරමීඩය. පුරාණතන  ඊජිප්තුවේ එනම් මිසරයේ වාස්තු විද්‍යා මහිමය ලොවට කියා පාන්නේ ද මෙම මනරම් ිරමීඩ ත්‍රිත්වයයි. රජ පෙළපත් තුනක අභිමානය ලොවට කියාපාමින් ගීසා හි ඉදිකර තිබෙන මෙම පිරමීඩ එසේත් නැතිනම් ‘සොහොන් ගෙවල්’ අදටත් අපට දැකගත හැක. 

    ක්‍රිස්තු පූර්ව. 26 වැනි සියවස, එනම් මීට අවුරුදු 4600කට පෙර මිසර සංස්කෘතික දියුණුවේ උච්චම අවස්ථාව ලෙස සැලකෙයි. එම පවතී පාරාවන් (රජවරුන්) ලෙස කටයුතු කළේ කූෆු (Khufu) ඔහුගේ පුතු කාෆ්රේ (Kahfre) සහ මුනුපුරු සැන්කුරේ (Menkure) ය.මොවුන් විසින් තමන්ගේ සොහොන් ගෙවල් ලෙස පිරමීඩ නිර්මාණය කරන්නැයි අණ දී  ඇත. 

    පුරා  විද්‍යාඥයන් මවිත කිරීමට සමත් අබිරහස් ‘හිඩැස’ සොයා ගැනීමට විද්‍යාඥයන් සමත් වී ඇත්තේ කූෆු රජුගේ පිරමීඩයෙනි. චියොෆ් යන නමින් ද කූෆු හැඳින්වෙයි. ගීසාහි ඇති මෙම යෝධ පිරමීඩ අබිරහස්වලින් පිරී පවතී. ඒ අතරට එක්වුණු මෙම ‘හිඩැස’ සම්බන්ධ අබිරහස ද විද්‍යාඥයන් අන්දුන්කුන්දුන් කිරීමට සමත් වී ඇතැයි බ්‍රිතාන්‍යයේ මේල් ඔන්ලයින් වෙබ් අඩවිය පෙන්වා දෙයි.

    ගීසා නිම්නයේ පිහිටා ඇති පිරමීඩ ත්‍රිත්වය අතරින් උසින් වැඩිම පිරමීඩය වන්නේ මෙම පිරමීඩයයි. උස මීටර් 140 (අඩි 460) කි. මෙය ඉදි කළේ යැයි පැවැසෙන්නේ ක්‍රි.පූ. 2509 සිට 2483 තෙක් කාලයේ යැයි පුරාවිද්‍යාඥයෝ පවසති. පිරමීඩය තුළ හිඩැසක් ඇතැයි සොයා ගැනීම සිදු කර ඇත්තේ අති නවීන ස්කෑන් තාක්ෂණයකිනි. පරීක්ෂණය සිදු කර ඇත්තේ ප්‍රංශ සහ ජපාන පුරාවිද්‍යාඥයන් සහ තාක්ෂණවේදීන් එක් වෙමිනි. 

    ඔවුන් යොදා ගත් මෙම ස්කෑන් තාක්ෂණය හැඳින්වෙන්නේ ‘මුවෝග්‍රැෆි’ (Muogrophy) යන නමිනි. මෙහිදී සිදු කෙරෙන්නේ, පෘථිවියට පතිත වන කොස්මික් කිරණ යොදා ගනිමින් ස්කෑන් පරීක්ෂණයක් කිරීමය. කොස්මික් කිරණ වායුගෝලය හරහා එද්දී, දෘහිතෘ අංශු එසේත් නැතිනම් අණුවලට වෙන් වෙයි. ‘මුවොන්ස්’ අණු ද ඒ අතර වෙයි. මේවා පස්වල ඇති ඛනිජද්‍රව්‍ය විසින් උරාගෙන පරාවර්තනය කිරීමක් සිදු කරයි. පරාවර්තනය වීමක් සිදු නොවන්නේ නම් එතැන ඇත්තේ හිස් අවකාශයකි. 

    පරීක්ෂණයේදී ලද නිගමනයන්ට අනුව පිරිමිඩය  ඇතුළත හිඩැසක් ඇතැයි සොයා  ගෙන ඇත.   කූෆු රජුගේ පිරමීඩය තුළ හිස් අවකාශ දෙකක් පවතින බව සෙයාගෙන ඇත. ඉන් එකක් හිඩැසක් ප්‍රමාණයෙන් විශාල වන අතර අනෙක ඊට වඩා පහළින් කුඩා පවතී.    මෙම හිඩැස් නිර්මාණය කරන ලද්දේ කුමන කරුණක් සඳහා ද යන්න පුරාවිද්‍යාඥයන්ට ගැටලුළුවක් පවතී.   

    සමහරුන්ත්ගේ මතය අනුව මෙය තුළ කිසියම් හෝ අබිරහස් දෙයක් තැන්පත් කර ඇතැයි ද සැක කෙරේ. හිඩැස ‘හිඩැසක්’ ද නැතිනම් ඇතුළේ වටිනා දෙයක් ඇති ද යන්න සොයා දැන ගැනීම අසීරු වී තිබෙන අතර එයරට හේතුව පිරමීඩයට හානි නොකර එය දැන ගැනීමට නොහැකි වීම නිසාය. වාස්තු විද්‍යාඥයන්ගේ අදහස අනුව මෙම හිඩැස නිර්මාණය කර ඇත්තේ පිරමීඩය ඇතුළත පීඩනය නැති කිරීමට හෝ මුදා හැරීමට හෝ විය හැකියි යන්න මතයක් පවතී. 

    ගීසා නිම්නයේ මුලින්ම හැදූ පිරමීඩය වන්නේ ද මෙම කූෆු රජුගේ පිරමීඩයයි. ලෝකයේ විශාලතම පිරමීඩය වන මෙය ‘මහා පිරමීඩය’ ලෙසින් ද හැඳින්වෙයි. 14 වන සියවස තෙක්ම ලෝකයේ උසම ගොඩනැගිල්ල වූයේ ද මෙයයි. මෙම පිරමීඩය ඉදිකළ අවදියේ මෙහි උස අඩි 481 ක් වුව ද දැන් මෙහි මුදුනත කොටස කැඩී විනාශ වී ගොසිනි. කූෆු රජ්ජුරුවන්ගේ මෙම මහා පිරමීඩයේ පාදම අක්කර 13 ක් එනම් හෙක්ටයාර 5.3 ක් පුරා විහිදෙයි. එක පැත්තක දිග මීටර 230 (අඩි 756) ක්. 

    කාෆ්රේ රජුගේ පිරමීඩය නිර්මාණය කර ඇත්තේ කූෆුගේ පිරමීඩයට වඩා අඩි 10 ක් උසින් අඩුවෙනි. කූෆූ රජුගේ මුනුපුරු සැන්කුරේගේ පිරමීඩය මේ පිරමීඩ දෙකටම වඩා කුඩාය. උස මීටර 66 කි. කුෆූගේ බිසවුන් වෙනුවෙන් ඔහුගේ පිරමීඩය අසල තවත් කුඩා පිරමීඩ ඉදි කර තිබේ. ඒ විතරක් නොවේ රජ පවුලේ අනෙක් රාජකීයයන් සහ ඥාතීන් වෙනුවෙනුත් මෙම පිරමීඩ සමූහය අසල කුඩා දේවාල සහ සොහොන් ගෙවල් ඉදි කර තිබේ. ගීසා නිම්නයේ පිරමීඩ ත්‍රිත්වය ඉපැරණි ලෝක පුදුම 7 ට ඇතුළත් කළෝ ග්‍රීක ජාතිකයෝය.  

    ග්‍රීක ඉතිහාසඥ හොරොඩෝටස්ගේ වසර 2,400 ක් පැරණි ලේඛනවල සදහන් කර ඇති අන්දමට මහා පිරමීඩය නිර්මාණය කිරීමට මිසර වැසියන් හා වහලුන් 100,000 දෙනකුගේ සේවය ලබා ගෙන තිබේ. මෙම පිරමීඩ ඉදි කිරීමට වසර 20 ක කාලයක් ගතවී තිබේ. පිරමීඩය නිර්මාණය සඳහා හුණුගල් කුට්ටි ගල් කුට්ටි මිලියන 2.3 ක් යොදා ගෙන තිබේ. මේ එක ගල් කුට්ටියක් ටොන් 2 1/2 ක් පමණ බරින් යුක්තය. 

    එහෙත් එවැනි ගල් ගීසා නිම්නයේ කිසිම තැනක ඇත්තේ නැහැ. ඒවා ඇත්තේ සැතපුම් දහස් ගණනක් දුර නයිල් මිටියාවතේ පහළ ප්‍රදේශවල පිහිටි ගල්වළවල්වලය. එම හුණුගල්, පිරමීඩ ඉදි කළ ස්ථානයට ප්‍රවාහනය කර ඇත්තේ පහුරුවලින් යැයි පුරා විද්‍යාඥයෝ පවසති. පිරමීඩ ඉදිකිරීමට ගල් ප්‍රවාහනය කළ හුණුගල් නිධි කිහිපයක්ම පුරාවිද්‍යාඥයන්ට හමුවී තිබේ.

    පුරාතණ මිසර වැසියෝ මරණින් මතු ජීවිතයක් පිළිබදව විශ්වාස කළ නිසා මියගිය පසු සිරුරු සුරැකිව තබා ගැනීමට හුඟක් මහන්සි වුණා. එහි ප්‍රති ප්‍රතිඵලයක් ලෙස සිරුරු මමීකරණයට ලක් කළේ.  පාරාවන් සහ පාරාවන්ගේ පවුල්වල අය මියගිය පසු ඔවුන්ගේ මමීකරණය කළ සිරුරු ආරක්ෂිතව තැන්පත් කිරීමටත් ඔවුන් සතු වස්තු සම්භාරයන් නිදන් හොරුන්ගෙන් බේරා ගැනීමටත් තමයි, පිරමීඩ ඉදි කළේ. ඔවුන් පිරමීඩ ඉදි කිරීමට තෝරා ගත්තේ නයිල් ගංගා නිම්නයේ බටහිර පෙදෙසයි. ඒකට හේතු වූයේ මළගිය ඇත්තන්ගේ නිවහන ඇත්තේ හිරු බැසයන දිසාවේ යැයි ඔවුන් විශ්වාස කිරීමය. 

    මළ සිරුරු තැන්පත් කිරීමේ කුටි නිර්මාණය කළේ හරියටම පිරමීඩය මැදය. දෙපස සිට පිරමීඩය ඇතුළට පැමිණීමට ඉදි කළ පටු මංතීරු හැම එකක්ම අවසන් වුණේ මෙම කුටිවලිනි. මෙලෙස මමීකරණය කළ සිරුරු ඇතුළත තැන්පත් කළ පසුව මෙම මංතීරු ගල්වලින් වසා අවහිර කළ සීල් තබනු ලැබුණි. එහෙත් අවාසනාවකට පාරාවන් බලාපොරොත්තු වූ පරිදි මේ පැරණි යෝධ සොහොන් ගැබ් ආරක්ෂා වුණේ නැත. ශතවර්ෂ ගණනාවක් පුරාම නිදන් හොරු පිරමීඩ ඇතුළට කඩා වැදී ඒවායේ තිබූ වස්තුව කොල්ල කෑමට පටන් ගත්හ.

     පුරාතණ මිසර වැසියන්ගේ හිරු දෙවියන් හැඳින්වෙන්නේ ‘රා’ කියාය. පුරාවිද්‍යාඥයින් සහ ජෝතීර්වේදීන් කළ සොයා බැලීම් හා පර්යේෂණ අනුව ඔවුන් කියනවා හිරු, සඳු සහ අනෙක් ග්‍රහලෝක සහ පිරමීඩ අතරේ සම්බන්ධයක් ඇති බවය. ඔවුන් පවසන පරිදි පාරාවන් පිරමීඩ නිර්මාණය කිරීමට පෙලඹුණේ ඔවුන්ගේ හිරු දෙවියන් වන ‘රා’ වන්දනාමාන කිරීමේ අරමුණක් ද ඇති ව බවය. මිසරයේ මුලින්ම ඉදි කළ පිරමීඩ ගීසාහි ඇති පිරමීඩ නොවේ. 

    කූෆූ රජුගේ පාලනයට ශතවර්ෂ ගණනාවකට කලින් මිසරයේ ජීවත් වූ වැසියන් පිරමීඩ හැඩයේ ස්මාරක හා සොහොන් ගැබ් ඉදි කර තිබෙන බවට සාක්ෂි තිබේ. ඔවුන් කළේ වැලි වළවල්වල මළසිරුරු මිහිදන් කර ඊට උඩින් පිරමීඩ ආකාරයේ ස්මාරකයක් ගඩොලින් හෝ ගල්වලින් නිර්මාණය කිරීමයි. මෙලෙස ස්මාරක නිර්මාණය කළේ සිරුරු මිහිදන් කර ඇති වැලි සුළඟේ ගසාගෙන යෑම වැළැක්වීමටය. ගීසාහි පිරමීඩවල මුල් ආකෘති ලෙසයි, මේවා සැලකෙන්නේ. මාබල් කුට්ටි පාදයක් යොදා ගනිමින් පඩිපෙළක් ආකාරයට ඉදි කළ ‘පඩි පිරමීඩය’ තමයි පළමු පිරමීඩය ලෙස සැලකෙන්නේ. මෙම පිරමීඩයේ සැලැස්ම නිර්මාණය කරනු ලැබුවේ ඉම්හොටෙප් විසිනි.

    ඉම්හොටෙප් යනු වසර 4950 කට කලින් ජීවත් වූ මිසර පඬිවරයෙකි.  ක්‍රි.පූ. 2980-2950 අතර කාලය තුළ මහා මෙහෙයක් කළ පුද්ගලයකු බව ඉතිහාසයේ සඳහන් වෙයි. අද අප විද්‍යාඥයෙකු හැටියට හඳුන්වන විධියට ගැළපෙන ලෝකයේ පළමු විද්‍යාඥයා ලෙස සැලකෙන්නේ ඉම්හොටෙප්ය. මරණින් පසු මෙවැනි විද්‍යඥයෙකු තවත් අවුරුදු දෙදහසක් යන තෙක්ම ලෝකයේ පහළ වූයේ නැත. 

    ඉම්හොටෙප් පිළිබඳ මතක සටහන්වලට අනුව ඔහු විස්මිත දේවල් රැසක් කළ අයෙකි. ඔහු වටා ගෙතී ඇති කතා නිකම්ම ගෙතූ කතාන්දර නොවේ යැයි පුරා විද්‍යාඥයෝ පෙන්වා දෙති. ඉම්හොටෙප් සතුවූ ලෙඩ සුව කරන බලය වඩාත් වැදගත් දෙය ලෙස සලකනු ලැබේ. ප්‍රවාදවලට අනුව ඔහු සතුව ලෙඩ රෝග සුව කිරීමේ මායා බලයක් තිබූ බව කියැවේ. ටොලමික යුගයේදී මොහුව හඳුන්වනු ලද්දේ වෙදකමට අධිපති මහ දෙවියන් වූ ටාග් ගේ පුත්‍රයකු ලෙසය.

    ඉම්හොටෙප් නිර්මාණය කළ බවට සැලකෙන එක් අපූරු නිර්මාණයක් වන්නේ පඩි පිරමීඩය (Step Pyramid) මේ බවට නිශ්චිත සාක්ෂි සොයා ගැනීමට ඉතිහාසඥයන්ට සහ පුරාවිද්‍යාඥයන්ට හැකිවී තිබේ. සකාරා හි ඉදිකර ඇති නිසා මෙය සකාරා (Saqqara) පිරමීඩය කියාද හැඳින් වෙයි. සකාරා පිරමීඩය ඉදිකළේ සෝසර් (Zoser) පරාවන් වෙනුවෙන් කි.පූ. 2950 දීයි. ඉම්හොටෙප් සෝසර් රජතුමාගේ ප්‍රධාන උපදේශකවරයා ලෙස සේවය කළේය. 

    ලෝකයේ ඇති ඉපැරණිම පිරමීඩය වන්නේ මෙයයි. පුරාවිද්‍යාඥයන් කියන විදියට මෙම පිරමීඩයේ ඉදිකිරීම් කටයුතු හා නිර්මාණය ඉම්හොටෙප් අතින් සිදු කළා නම් ලෝක ඉතිහාසයේ එවැන්නක් කළ පළමු තැනැත්තා වන්නේ ද ඉම්හොටෙප්ය. මෙය පඩි පිරමීඩය ලෙස නම් කෙරෙන්නේ පාදමේ සිට මුහුදුනට යන තෙක් පඩි 6 ක ආකාරයෙන් නිර්මාණය කර තිබීමයි. ස්නෙෆෲ (Senefru) රජු යනු කුෆූගේ පිය රජුය. ඔහුත් ඉතාමත් සුමට බිත්ති ඇති පිරමීඩ නිර්මාණය කරවා තිබේ. මෙයින් එක් පිරමීඩයක් හැඳින්වෙන්නේ ‘ඇලවුණු පිරමීඩය’ කියාය. ඊට හේතුව එහි එක් පැත්තක් අනෙක් පැත්තට වඩා කුඩා වීමය. ඒ නිසා එය ඇලවී ඇති බවක් පෙන්නුම් කරයි. 

    මෙවැනි රාජකීය පිරමීඩ 80 ක් පමණ මිසරයෙන් හමුවී තිබේ. ඒත් ඒ කිසිවක් ගීසාහි පිරමීඩ ත්‍රිත්වයට සමාන කළ නොහැකිය. එම පිරමීඩවලින් බොහොමයක් විනාශ වී නටබුන්ව පවතී.

    No comments:

    Post a Comment

    Astrology

    Gossip

    News

    Contact Form

    Name

    Email *

    Message *