• Breaking News

    ඉතිහාසයේ පළමුවරට ලංගම සේවකයන්ට ප්‍රසාද දීමනාවක්


    ලංකා ගමනා ගමන මණ්ඩල ඉතිහාසයේ පළමුවරට සියලූම සේවකයන්ට රුපියල් 10,000ක ප්‍රසාද දීමනාවක් ලබාදීමට රජය තීරණය කරයි. මේ දක්වා එම සේවකයන් වෙනුවෙන් රුපියල් 5,000ක ප්‍රසාද දීමනාවක් ලබාදුන් නමුත් රුපියල් 10,000ක ප්‍රසාද දීමනාවක් ලබාදීමට අදාළ යෝජනාව එළඹෙන සැප්තැම්බර් මාසයේ දී අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කරන බවද, ඉතිහාසයේ පළමු වරට එම මණ්ඩලය මේ රටේ ශක්තිමත් ආයතනයක් බවට පත්ව තිබෙන බවද, ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා අවධාරණය කරයි.

    පසුගිය 2017 වසරේ දී ලංකා ගමනා ගමන මණ්ඩලය රුපියල් මිලියන 1,618ක ලාභයක් ලබා තිබෙන බව පෙන්වාදෙන ඒ මහතා මේ වනවිට එහි සේවකයන් 30,492ක් පමණ සිටින බවද මේ සියලූ සේවකයන්ගේ අවශ්‍යතා ඉටුකිරීම වෙනුවෙන් හැකි පමණින් ක්‍රියාමාර්ග ගන්නා බවද පෙන්වාදෙයි.

    ඇමැතිවරයා මේ බව සඳහන් කළේ බත්තරමුල්ලේ පිහිටි ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශ ශ්‍රවාණාගාරයේ දී ඊයේ (16) පැවැති විශේෂ මාධ්‍ය හමුවට සහභාගිී වෙමිනි.

    එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා පෙන්වා දුන්නේ ලංකා ගමනා ගමන මණ්ඩලය ප්‍රථමවරට මෙහෙයුම් ලාභයක් ලබා තිබෙන බවත් මෙතෙක් කල් පාඩුවට කටයුතු කළ නමුත් මේ වනවිට සේවක අර්ථ සාධක අරමුදල, ප්‍රසාද දීමනා නිසි වේලාවට ගෙවමින් ශක්තිමත් ආයතනයක් බවට පත්ව තිබෙන බවත්ය.

    මේවා පෞද්ගලීකරණය කිරීමේ අවශ්‍යතාවක් නොමැති බවට රටට පෙන්වා දී තිබෙන බව කී ඒ මහතා එවැනි ආයතන රැක ගන්න කටයුතු යොදා තිබෙන බවද, වෙනත් ඇමැතිවරු මෙන් සේවකයන්ගෙන් ආයතනය පුරවා කඩාවැටීමට තමා කිසිවිටෙකත් කටයුතු නොකළ බවද පෙන්වා දුන්නේය.

    විශේෂ දීමනාවක් ලබාදෙමින් අතිරික්ත සේවක පිරිස ඉවත් කිරීමට පියවර ගෙන තිබෙන බවද ලංගම ලාභ උපයන ආයතනයක් බවට පත්කරන්න කටයුතු කර තිබෙන බවද හෙතෙම කීවේය.

    මෙය රජයත්, අපේ අමාත්‍යාංශයත් ලැබූ සුවිශේෂී ජයග්‍රහණයක් බව කී ඇමැතිවරයා මෙතෙක් කල් ලංගම සේවකයන්ට හොඳ ප්‍රසාද දීමනාවක් නොලැබුණු බවද මේ වනවිට ලබන ලාභය හේතුවෙන් සියලූම සේවකයන්ගේ ප්‍රසාද දීමනා ඉහළ නැංවීමට තමා තීරණය කළ බවද පෙන්වා දුන්නේය. මේ රටේ ගමනා ගමන ක්ෂේත්‍රයේ සිදුවන අසාධාරණ සිදුවීම්වල දී ලංකා ගමනා ගමන මණ්ඩලය ඉදිරියට පැමිණ ජනතාවට සේවය කරන්න ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කරන බවද වගකීමෙන් තම වෘත්තීය වගකීම ඉටුකිරීම සම්බන්ධයෙන් එම වෘත්තීය සමිතිවලට තම ප්‍රණාමය පිරිනමන බවද ප්‍රකාශ කළේය.

    මේ වනවිට ලංකා ගමනා ගමන මණ්ඩලය ශක්තිමත් කිරීම වෙනුවෙන් වැඩසටහන් රැසක් ක්‍රියාවට නංවා තිබෙන බව කී ඇමැතිවරයා සේවක සුබසාධනය වෙනුවෙන් ද පියවර ගෙන තිබෙන බව පෙන්වා දුන්නේය. ලංගම සඳහා නව බස්රථ මිල දී ගැනීම වෙනුවෙන් ද පියවර ගෙන බවද ඒ අනුව ඉදිරියේ දී මේ ආයතනය ඉතාම ශක්තිමත් ආයතනයක් වනු ඇතැයි පෙන්වා දුන්නේය.

    No comments:

    Post a Comment

    Astrology

    Gossip

    News

    Contact Form

    Name

    Email *

    Message *